Monday 22nd of June 2026

English Tamil
Advertiesment


‍කියපු දේ කරපු, කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස මහතායි


2026-06-22 1250

 

 - විපක්ෂ නායක - 

 

රණසිංහ ‌ප්‍රේමදාස ජනාධිපතිවරයා සෑම ජුනි - ජූලි මාසවල ගම්උදා වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කළ බවත් යාපහුව මැතිවරණ කොට්ඨාසයේ බඩල්ගමුව උදා ගම්මානය තුළින් ආරම්භ වූ මෙය ඒකාබද්ධ ගෘහ කුටුම්භ සංවර්ධන වැඩසටහන යටතේ නිවසක් ලබා දීම සේම ගෘහයේ ආදායම් වර්ධනය කරන ගෘහමූලික පවුල් ඒකකය කේන්ද්‍ර කර ගත් ඒකාබද්ධ ආදායම් උත්පාදන සුබසාධන වැඩසටහනක් දියත් කළ බවත් 1977 මැතිවරණ වේදිකාවේ ප්‍රධානම පොරොන්දුවක් වූයේ නිවාස ලක්ෂයක් සෑදීම බවත් මේ නිවාස ලක්ෂයේ වැඩසටහන කියූ ආකාරයටම සාර්ථකව අවසන් කර දශලක්ෂය සහ පහළොස් ලක්ෂයේ වැඩසටහන ද සාර්ථකව ආරම්භ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෙවල් ලක්ෂයේ වැඩසටහනින් පසු දශලක්ෂය සහ පහළොස් ලක්ෂයේ වැඩසටහන තුළින් අදාළ ගෘහ ඒකකයේ මූලිකයාට අවශ්‍ය ආකාරයට නිවස නිර්මාණය කරන්න නිවාස ණය ලබා දී සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් මෙහි දී ගෙවතු වගාව, පරිසර හා සෞඛ්‍ය වැඩසටහන්, ආර්ථික පුනරුද වැඩසටහන ආදී ඒකාබද්ධ වැඩසටහන් ද ක්‍රියාත්මක කළ බවත් මේ ආකාරයට ජනතාව වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් ඉටු කළ බවත් මේ ආකාරයෙන් ජනතාව අන්දවන්නේ නැතිව ජනතාව රවටන්නේ නැතිව ජනතාව මංමුලා කරන්නේ නැතිව සැබෑ සේවාවක් රටට කරන්නට නම් කියන දේ කරන්නට සේම කරන දේ කියන්නත් හැකිවිය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා සතුව ඒ ගුණය තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 102 වැනි ජන්ම දිනය නිමිති කර ගෙන මහනුවර පැවැති උත්සවයක් අමතමිනි.

 

අප රටේ අධ්‍යාපන ක්‍රමය තුළ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වුවත් අධ්‍යාපනයේ බෙදීමක් ඇති බවත් ප්‍රභූ සහ නිර් ප්‍රභූ පාසල් ලෙස බෙදීමක් ඇති බවත් මේ බෙදීම නැති කරන්න සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන විට එය විහිළුවට ගැනීමට බහුතරයක් කටයුතු කළ බවත් එදා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ගැන කතා කරද්දි එය විහිළුවට ගත් අයට අද ඉංග්‍රීසි වාක්‍ය කිහිපයක්වත් හරියට කතා කරන්න නොහැකි වී ඇති බවත් අඩුපාඩුවක් හඳුනාගෙන එය නිවැරදි කර ගන්න අකැමැති වීමම රටේ ඛේදවාචකයක් බවත් දූපත් මානසිකත්වයෙන් වැහුනු රටක් තුළ මේ ආකාරයෙන් කටයුතු කිරීම නිසා රජය නියෝජනය කරන බහුතරයක් අද සමච්චලයට ලක්වන බවත් ගෝත්‍රික මානසිකත්වය නිසා මේ ගැටලු නිවැරදි කරන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම රණසිංහ ප්‍රේමදාස මහතා එදා සිට දැන ගෙන තිබුණා

 

එදා රණසිංහ ප්‍රේමදාස මහතා ගෞරවනීය මහා සංඝරත්නයේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කර ඉංග්‍රීසි භාෂාවෙන් විදේශ රටවල ධර්ම දේශනා කරන්න හැකියාව සහිත භික්ෂූන් වහන්සේලා බිහි කිරීමට දුරදක්නා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වු බවත් අද රටේ ඇති මේ බෙදීම නිසා රැකියා වෙළෙඳපොළේ පවා ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ ඇති හැකි ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලැබූ අයට බවත් මේ ගැටලුව අදටත් හඳුනා ගැනීමට සූදානම් නොමැති බවත් එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම පෙන්වා දුන් බවත් ඒ නිසා තමාට ද ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවිමට හැකියාව ලැබුණු බවත් ඒ ලැබුණු ඔවදන් රටේ දරුවන්ට ලබා දෙන විට ඒවා උපහාසයට අපහාසයට ලක් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

නව තාක්ෂණික රැකියා වෙළෙදපොළට සුදුසු වෘත්තිකයන් අපි බිහි කරනවාද?

 

තොරතුරු තාක්ෂණ විප්ලවය ගැන කතා කරත් අදටත් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සිදු කරන්නේ මව් භාෂාවෙන් 6 වසරේ සිට බවත් ලෝකයේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ආරම්භ වන්නේ මුල් ළමා විය බවත් මේ ක්‍රමය පවා වෙනස් විය යුතු බවත් ඩිජිටල්කරණය ගැන කතා කළත් මෙහි ප්‍රතිලාභ ප්‍රභූ පාසල්වලට මිස ගමේ පාසල්වලට නොලැබෙන බවත් නිදහස් අධ්‍යාපනය පාව අද විනාශ වී ඇති බවත් ලෝකයේ වේගයෙන් සංවර්ධනය වන නව තාක්ෂණය  නිසා පරණ රැකියා අහෝසි වුවත් අප රටේ මේ නව තාක්ෂණයට ගැලපෙන රැකියා සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවත් මේවා පෙන්වා දෙන විට හාස්‍යයට ලක් කිරීම රජයේ වහලුන් විසින් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

කෙසෙල්වලින් ඇදුම් හදන්න පෙර තිබෙන ඇගලුම් කම්හල් රැකගත යුතුයි

 

වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කිව්වත් විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් අදටත් ඒවා සිදු නොවූ බවත් මේ වන විට රටේ ඇගලුම් කර්මාන්තශාලා දිගින් දිගටම වැසී යන බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී මේ කර්මාන්තශාලා රැකගන්නවා වෙනුවට කෙසෙල් කොටවලින් ඇදුම් නිර්මාණය කරන කර්මාන්තශාලා හදනවා යැයි රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කියමින් යන බවත් මේවා කරන්න පෙර රටේ ඇති කර්මාන්තශාලා රැක ගැනීම අප සැමගේම යුතුකම බවත් ආණ්ඩු වෙනස් වූවාට රටේ සිදුවූ සංවර්ධන ව්‍යාපෘති ආදිය අඛණ්ඩව සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment